ඇපල් සමාගමින් “ටයිටන් අයි කාර්”

ඇපල් සමාගමින් “ටයිටන් අයි කාර්”

ඇපල් සමාගම විසින් රහස්‍ය විද්‍යාගාරයක් තුල තමන්ගේ ම විදුලි මෝටර් රථ සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බව පසුගියදා ප්‍රකාශ කර ඇත. පසුගිය සතියේ කැලිෆෝනියාවේ වීදි වල ඇපල් සමාගමට අයත් වීදි කැමරා සවිකරන ලද මෝටර් රථ දැකගැනීමට හැකිවීම නිසා මේ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. මේ සඳහා ඇපල් සමාගමේ පළපුරුදු කළමනාකරුවන් විසින් නායකත්වය දෙන බවත්, එම සමාගමින් පිටත ස්ථානයක රථ වාහන නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණය කරන බවත් ලැබෙන ආරංචි මාර්ගවලින් හෙලිව තිබේ.

පසුගිය වසරේ පිහිටුවන ලද මෙම පර්යේෂණාගාරයේ අධීක්ෂණ කටයුතු සඳහා ඇපල් සමාගමේ නිර්මාණ සැලසුම් ශිල්පී සර් ජොනතන් අයිව් මූලිකත්වය ගෙන ඇති බව ප්‍රකාශ කරයි. මීට මාස 3 කට පමණ පෙර පුවත්පත් හා වෙනත් ආරංචි මාර්ගවලින් සැලවූයේ ඇපල් සමාගමේ මීළඟ ව්‍යාපෘතිය ” CarPlay ” ලෙස හඳුන්වන බවය.
මෙම ව්‍යාපෘතිය නවීන තාක්ෂණය හා මුසුව මෝටර් රථ නිර්මාණය කිරීමට කටයුතු කිරීමක් බව ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම ව්‍යාපෘතිය ටයිටන් ” Titan ” ලෙස නම් කර ඇති අතර ඒ සඳහා සියගණනකින් සමන්විත සේවක පිරිසක් කටයුතු කරන බව ”වෝල් ස්ට්‍රීට්” පුවත්පත මඟින් අනාවරණය කර තිබේ.
විවිධ ප්‍රදේශවල දක්ෂතා දක්වන සේවකයින් බඳවාගෙන පුද්ගලයන් 1000කින් සමන්විත සේවක් මඩුල්ලක් නිර්මාණය කිරීමට ද කටයුතු කරන බව ප්‍රකාශයට පත් කොට ඇත .
මෙම ” ටයිටන් ” ව්‍යාපෘතියේ මූලික අරමුණ හා සැලසුම වී ඇත්තේ ස්වයං ව ධාවනය වන කුඩා මෝටර් රථ නිපදවීමටයි. වාහන මත සවිකරන ලද කැමරා මඟින් ගමන් ගන්නා මාර්ග හා සිතියම් අධ්‍යනය කර ස්වයං – රියදුරු මෘදුකාංග වැඩිදියුණු කිරීම එහි එක් පියවරක් ලෙස දැක්විය හැක.
ඇපල් අයිෆෝන් වලින් මෙම මෝටර් රථ පද්ධති පාලනය කිරීමට හැකි වන මෘදුකාංග වැඩිදියුණු කිරීමට ද ඇපල් සමාගම කටයුතු කරමින් පවතී.
ගූගල් සමාගම විසින් වීදි සිතියම් ගත කිරීම සඳහා මෝටර් රථ මත කැමරා 12ක් සවිකර වීදිය සම්පූර්ණයෙන් ම කැමරාගත කිරීමේ තාක්ෂණයක් විය.  ඇපල් සමාගමේ ස්වයං රියදුරු මෝටර් රථ සඳහා ද භාවිතයට ගෙන ඇත්තේ මෙම න්‍යාය තවදුරටත් පුළුල් කිරීමෙනි. මේ ඔස්සේ  ” ගූගල් මැප්ස් ” මෙන් අයිෆෝන් සඳහා වෙනමම සිතියම් ස්ථාපනය කොට සැකසූ ” ඇපල් මැප්ස් ”  මෘදුකාංග නිර්මාණය කිරීමටද හැකිවනු ඇත.
” ටයිටන් අයි කාරයේ ” නවතම තොරතුරු ද මේ වසර අගදී එළිදැක්වීමට නියමිත ය.
සැකසුම සී.එදිරිමාන්න
Share this: