අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් සහන සැලසීමට සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල සහන කණ්ඩායම් යොදවා ඇත.
ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගාල්ල, අකුරැස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශවලට සම්බන්ධීකරණ සහ ඵලදායී ප්‍රතිචාරයක් ලබා දීම සඳහා සහන කණ්ඩායම් කිහිපයක් යවා ඇත.
ගිං ගඟ සහ නිල්වලා ගංගා පිටාර ගැලීමෙන් ගංවතුර ඇති වූ බැවින් නාවික හමුදාව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සහන කණ්ඩායම් ද පිටත් කර යවා තිබේ. විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමට මෙම කණ්ඩායම් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසයි.
තවද, ගංවතුරෙන් පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය පරිදි යෙදවීමට නාවික හමුදාවේ අතිරේක සහන කණ්ඩායම් සූදානම්ව තබා ඇති බව නාවික හමුදාව පවසයි.