ආණ්ඩුව හොරුත් සමග හෙළුවෙන්

ආණ්ඩුව හොරුත් සමග හෙළුවෙන්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ, රාජපක්ෂ පාලනයේ සිටි හොරුන්, තක්කඩින් සමග මේ ආණ්ඩුව එකඟතාවකට පැමිණ සිටින බවයි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත මහතා මේ බව සඳහන් කළේ, මරදාන CSR ශාලාවෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
අද වෙනකොට මෛත්‍රී-රනිල් යහපාලනයේ දින 100 අවසන්. රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුවට එරෙහිව වංචාව හා දුෂණයෙන් පිරුණු ආර්ථික ප්‍රතිපත්තියේ පීඩනයට එරෙහිව සමාජය තුළ දැවැන්ත බලයක් ගොඩනැගෙමින් තිබුණා. ගැඹුරු සමාජමය වෙනස්කම් ඉල්ලමින් ජනතාව සටනට පිවිසෙමින් තිබුණා. එහි විශාල බලයක් ජනනය වෙමින් තිබුණා.

ඇත්තටම රාජපක්ෂ රෙජීමය පලවා හැරීමට තරම් ජනතාවගේ ශක්තිය පුළුල් සමාජමය වෙනසක් ඉල්ලමින් ප්‍රජාතන්ත්‍ර වාදය, ආර්ථික සමානාත්මතාවය වෙනුවෙන් දැවැන්ත සටනක් ජනතාව තුළ බිහිවෙමින් තිබුණා. ජනතාවගේ මෙම සමාජමය වෙනස සඳහා වූ උවමනාව මහදවල් මංකොල්ල කෑමෙන් තම තමන්ගේ පසු බල ව්‍යාපෘති ජයග්‍රහණය කරගැනීමට මෛත්‍රීපාලලා රනිල්ලා පිටපොට ගසනු අපි දැක්කා. ඒ බව අපි ජනතාවට පැවසුවා.
කොහොමවුනත් දැන් දින 100 ක් ඉවරයි. නටපු තොවිලෙකුත් නැති බෙරේ පලුවකුත් නැති බව පැහැදිලිවම පේනවා. රාජපක්ෂ පාලනයේ සමීපව සිටි හොරු, තක්කඩි ජාතිවාදීන් සමඟ මේ ආණ්ඩුව එකඟතාවයන්ට පැමිණ සිටිනවා. 19 වන 20 වන සංශෝධන, පාර්ලිමේන්තුව කල් තැබීම් වැනි සියල්ල මොවුන්ගේ බල ව්‍යාපෘති ශක්තිමත් කරන ක්‍රියාමාර්ග පමණයි. අවසානයේ මොවුන් අතර කුමන හෝ කණ්ඩායමක් බලය තහවුරු කර ගනීවි. රාජපක්ෂ පාලනය විසින් මතුපිටින් ආටෝපවත් කර තිබුණු නමුත් යටින් කුණුවී තිබූ ආර්ථිකයේ ජනතාවට තිබූ පීඩාව දශමෙකින් හෝ අඩුවී නැහැ.
සමාජ අර්බුද වෙනස් කරන්න ජනතාවට තිබූ උවමනාව, ප්‍රගතිශීලීයයි කියාගත්ත වමේ කියාගත්ත බොහෝ අය විසින් එක් එක් අයගේ බල ව්‍යාපෘති ජයග්‍රහණය කරවන්න මෙහෙය වුවා. රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගුනු ජනතාවගේ සැබෑ විරෝධය එජාපය, මෛත්‍රී, හෙළ උරුමය, ජවිපෙ මංකොල්ල කෑ බව ඉතා පැහැදිලියි. මේ සමාජ අර්බුදය ඉතාම ගැඹුරුයි, බරපතලයි. එය මතුපිට ක්‍රියාමාර්ග වලින් ආවරණය කරන්න බැහැ. ඒ වෙනුවෙන් සැබෑ ක්‍රියාමාර්ග තේරිය යුතුව තියෙනවා. සිල්ලර කාරනාවට ලිපි ලියලා ව්‍යාපෘති හදලා ඒවා ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරුයැයි විකුණාගෙන කමින් ජීවිතය ගැට ගසා ගන්නා කේවට්ටයන්ට තව දුරටත් ඉඩ තියන්න බැහැ.
ප්‍රශ්නය යලිත් මුලටම ඇවිත් තියෙනවා. රාජපක්ෂ ඇතුළු ජාතිවාදීන් ආයෙත් ජාතිවාදය අවුස්සන්න පටන් අරන් තියෙනවා. යලිත් තම තමන්ගේ බල ව්‍යාපෘති නග්නව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මෙය අනුකම්පා විරහිතව හෙළිදරව් කළ යුතුයි. ඒ සඳහා අපි ජනතාවට ආරාධනා කරමු. ජනතාව ඉල්ලාසිටි කිසිදු වෙනසක් නොවී තිබෙන කිසිදු ජයග්‍රහණයක් නොලැබී තිබෙන මේ මෛත්‍රී-රනිල් පාලනය, රාජපක්ෂ රෙජීමය පරදවිමක් හෝ සමාජමය අර්බුද වලට පිළිතුරක් වි නැති නිසා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට දුන් පොරොන්දුවට පිටුපාමින් 19 වන සංශෝධනයේදී විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට යෝජනා කළා. 17 වන සංශෝධනයෙන් ගෙනාව කොමිසම් ගෙනවිත් තියෙන නිසාවත්, අවුරුද්දක් අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය අවුරුදු හතරාමාරකට දිගු කරගත් නිසාවත් 19 වෙනි සංශෝධනයට එකඟ වෙන්න බැහැ. ජනතාව ඉල්ලා සිටියේ සම්පුර්ණ ප්‍රජාතන්ත්‍ර වාදය තහවුරු කිරීමයි. කසල ගොඩේ ලොසින්ජරයක් තියෙන නිසා කසල ගොඩම හොඳයි කියන අයත් ඉන්නවා. එවැනි අයට 19 දෙස තමන් කැමති විදියට බලන්න පුළුවන්. අනික් අතට අල්ලස් කොමිසම ලෙස පෙන්නලා තියෙන ක්‍රියාදාමය ගෙනවිත් තිබෙන්නේ හොරකම, සුරාකෑම තහවුරු කළ සිස්ටම් එක තුළයි. එවැනි සිස්ටම් එකක් තුළ හොරු අල්ලන්න පුළුවන් කමක් නැහැ. හොරු අල්ලීමකුත් නැහැ. සිදුවන්නේ තම තමන්ගේ බල ව්‍යාපෘතිවලදී තමන්ට බාධාවක් වෙන අනෙකා මර්ධනය කිරීමට අවස්ථා සලසා ගැනීම පමණයි. මෙහි තිබෙන්නේත් ජනතාව රවටන බොරුවක්.

ඡන්ද ක්‍රමය ලෙස එක් පක්ෂයකට වැඩි බලයක් ගතහැකි කේවල ආසන ක්‍රමයකුත් ඒ සමඟ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයත් ඔවුන් රැගෙන එනවා. සමානුපාතික මැතිවරණ ක්‍රමයේදීත් මුදල් බලය ඇති අය ඡන්ද ගරා ගන්නා ක්‍රමවේදයන් මේ කේවල ආසන යෝජනා තුළ ඉවත් කරලා තියෙනවද? එසේ වී නැහැ. සිදුවී ඇත්තේ ජනතා බලයට විරුද්ධව පාලකයන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගැනීම පමණයි. හොරු ඇල්ලීමට උද්ඝෝෂණය කරනවා හොරු අල්ලන්න එපා කියාත් උද්ඝෝෂණය කරනවා මේවා කිහිපදෙනේක්ගේ රැකියා මිස පොදු ජනතාවගේ ක්‍රියාමාර්ග නෙමෙයි. මේවා දේශපාලන සෙල්ලම් සහ ගරු රඟපෑම් පමණයි.

Share this: