අසුන් අහිමි වූ හිටපු මැති ඇමතිවරු

අසුන් අහිමි වූ හිටපු මැති ඇමතිවරු

මෙවර පැවතුනු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මැති ඇමතිවරුන් 30ට වැඩි පිරිසකගේ මන්ත්‍රී ආසන අහිමි වී ඇත.

ඒ අනූව කරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ ශාන්ත බණ්ඩාර මහතා මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වී ඇති අත්තර, ජයරත්න හේරත්, නිල්වලා විජේසිංහ යන මහත්වරුද මෙවර මහමැතිවරණයෙන් පරාජය වී ඇත.

වයඹ පළාතේ හිටපු මහ ඇමතිවරයෙකු වූ අතුල විජේසිංහ මහතා මෙවර මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ වැදුනු අතර ඔහුද එයින් පරාජයට පත්ව ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ සන්ධානයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකු වූ වී.කේ.ඉන්දික සහ නිරූපමා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මැතිවරණයෙන් පරාජයට පත්වී ඇති අතර, මැති ඇමති ධූර හෙබවූ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, හේමාල් ගුණසේකර සහ විජේ දහනායක යන මහත්වරු මෙවර මැතිවරණයෙන් ඉවත් වී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තරඟ කළ ගුණරත්න වීරකොන් සහ පියසේන ගමගේ යන මහත්වරුන්ටද සිය පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කයේ සන්ධානයෙන් තරඟ කළ නන්දිමිත්‍ර ඒකනායක සහ රෝහණ දිසානායක යන මහත්වරු ද මෙවර මැතිවරණය පරාජය වී ඇත.

තවද, මහින්ද සමරසිංහ හිටපු අමාත්‍යවරයාද කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කළ අතර ඔහු ද ඉන් පරාජයට පත්වී අති අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරඟ කළ චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාත්, එක්සත් ජාතික පක්ෂයේ එම්. එස්. තවුෆික් මහතාත් මෙවර මැතිවරණයේ පරාජයට පත්වුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත් වූ තිස්ස කරලියද්ද මහතා සහ ඩබ්ලිවු බී. ඒකනායක මහතාද මැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරඟ කළ පී.රාජතුරෙයි මහතාටද රේණුකා හේරත් මහත්මියටද සිය ආසනය අහිමි වී ඇත.

පුත්තලම දිස්ත්‍රික්කයට සන්ධානයෙන් තරඟ කළ නියෝමාල් පෙරේරා, මිල් රෝයි ප්‍රනාන්දු, දයාශ්‍රිත තිසේරා, වික්ටර් ඇන්තනි, යන අයට හා මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ ජගත් පුෂ්පකුමාර, විජිත් විජයමුණි සොයිසා යන මහත්වරුන්ටද මෙවර මැතිවරණයෙන් සිය පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇත.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ ලක්ෂ්මන් සෙනෙවිරත්න, රෝහණ පුෂ්පකුමාර, උදිත් ලොකුබණ්ඩාර, චාමික බුද්ධදාස යන මහත්වරුද මැතිවරණයෙන් පරාජයට පත්ව ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයයෙකු ලෙස කටයුතු කළ සනී රෝහණ මහතාද පැවති මහමැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව සඳහන්ය.

මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ හිටපු අමාත්‍යවරයෙකු වූ එස්.බී.දිසානායක, එරික් ප්‍රසන්න වීරවර්ධන, අබ්දුල් කාදර් යන මහත්වරුන්ටද මහමැතිවරයෙන් සිය පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු අමාත්‍යවරුන් වන අතාවුද සෙනෙවිරත්න සහ ලලිත් දිසානායක යන මහත්වරුද මැතිවරණයෙන් පරාජයට පත්ව ඇති බව සඳහන්ය

එසේම කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ රෝසි සේනානායක මහත්මියද මෙවර පරාජයට පත්ව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය පාර්ලිමේන්තුවට තේරීපත්වු තිලංග සුමතිපාල ද මෙවර පරාජයට පත්වී ඇත.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ෆීලික්ස් පෙරේරා, පණ්ඩු බණ්ඩාරනායක, සරත් කුමාර ගුණරත්න, රුවන් රණතුංග, උපේක්‍ෂා ස්වර්ණමාලි යන අයද මෙවර මහමැතිවරණයේ දී පරාජයට පත්ව තිබේ.

Share this: