හලාවත – ආනවිළුන්දාව වැව යටතේ වගා කටයුතු කර ඇති ගොවීන් පවසන්නේ, “පුරුක් පණූවන්” සහ “මයිටා” නම් කෘමීන් හානි කිරීම හේතුවෙන් තම කුඹුරුයාය සම්පූර්ණයෙන්ම විනාශ වන්නට පටන් ගෙන ඇති බවයි.
එබැවින්, ආනවිළුන්දාව වැව යටතේ කුඹුරු අක්කර 350 ක් වගා කළ හැකි නමුත් මෙවර වගා කර ඇත්තේ අක්කර 280 ක් පමණි.
යාය පුරා ඇති ගොයම් වගාවන් මේ වන විට “සුදු පැහැ” ගැන්වී ඇති අතර, සුදු පැහැ ගැන්වී ඇති ගොයම් බොල් වී ඇති බවක්ද දක්නට ඇත.
ඒ අනුව සාමාන්‍යයෙන් තම කුඹුරු වලින් වෙනත් කන්න වලදී අක්කරයකට වී බුසල් 110 ක් පමණ ලබාගත් නමුත් පවතින තත්ත්වය නිසා මෙම කන්නයේ අක්කරයකට වී බුසල් 40ක්වත් ලබා ගැනීම ගැටළුවක් බව ගොවීන් පවසයි.
තම ගොයම් වගාවට වැළඳී ඇති රෝගය සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන්ගෙන් උපදෙස් පැතූ විට ඔවුන් කියා සිටිනේ පුරුක් පණුවන් වඳ කිරීම සඳහා කෘමි නාශක යොදන ලෙසයි.
තවද නිළධාරීන් නිර්දේශ කරන කෘමි නාශක යෙදුවත් රෝගය පාලනය වී නොමැති බවත් ගොවීන් පවසයි.
වෙළඳපළේ ඇති කෘමි නාශක වල ප්‍රමිතියේ තත්ත්වයක් මෙම රෝගය පාලනය කිරීමට බාධාවක් වී ඇති බවට විශ්වාස කරන්නේ යැයි ආනවිළුන්දාව එක්සත් ගොවි සංවිධානයේ ගොවීන් පවසයි.