අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා උණුසුම්වෙයි

අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතා උණුසුම්වෙයි

උද්ඝෝෂණයක් නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදීත් එය නොතකා ස්වාමින් වහන්සේ කිහිප නමක්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් මේවන විට අල්ලස් කොමිසම ඉදිරිපිට අද (23) විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මෙයට හේතුව වී අතේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට අල්ලස් කොමිසම හමුවට අද පැමිණෙන ලෙස දැනුම්දීම බව සදහන් වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කර අද උද්ඝෝෂණ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

නමුත් අද දිනයේ අල්ලස් කොමිසම ඉදිරිපිට කිසිදු විරෝධතාවයක් නොපැවැත්විය යුතු බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියෝගයක් ලබාදී තිබුණි.

කෙසේ වෙතත්, එම නියෝගය නොතකා බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, මැදගොඩ අබයතිස්ස ඇතුළු ස්වාමින් වහන්සේලාද, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, රොෂාන් රණසිංහ, සරත් වීරසේකර, ගාමිණි ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද උදය ගම්මන්පිල, උපාලි කොඩිකාර යන පළාත් සභා මන්ත්‍රීන් ඇතුළු පිරිසක් මේවන විට එම ස්ථානයේ විරෝධතාවයක නිරතව සිටී.

නමුත්, පවත්නා වාතාවරණය සැලකිල්ලට ගෙන, කලහකාරී සිදුවීමක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයට කැඳවා තිබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද, අල්ලස් කොමිසමේ කැඳවීමට අනූව මේවන වන විට එහි පැමිණ සිටි.

අල්ලස් කොමිසම ඉදිරිපිට ස්වාමින් වහන්සේ, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවයත් සමග මේවන විට එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර, මේ නිසා බෞද්ධාලෝක මාවත මාර්ගයේ වාහන ධාවනයට ද බලපෑම් එල්ල වී ඇත.

Share this: