කුමන අභියෝග පැමිණිය ද ඉදිරියටම ගමන් කරන බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න විසඳීම සඳහා කිසිඳු අවස්ථාවක විදේශයන්ට ඉඩ නොදෙන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කෙළේ දෙමළ මාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (14) පැවැති හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේද පැවසීය.
පසුගිය වසර හතර හමාරක කාලයක් පුරා උතුරේ දමිළ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් ලබාදීමට හෝ උතුරේ එකඳු සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට හෝ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපොහොසත් වූ බව පෙන්වාදෙන ඒ මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා දෙමළ ජාතික සන්ධානය දැවැන්ත සහයෝගයක් ලබාදුන් නමුත් උතුරේ ජනතාවගේ කිසිඳු දැවෙන ප්‍රශ්නයකට ඵලදායී පිළිතුරක් ලබාදීමට අසමත් වූ බවද පෙන්වා දෙයි.
දෙමළ මාධ්‍ය භාවිතා වන ආකාරය සෑමවිටම ආණ්ඩු විරෝධී මාවතක් ගන්නා බවත් දෙමළ ජනතාවයි ආණ්ඩුවයි ඈත් කිරීමෙන් වළකින්නැයි මා දෙමළ මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා. දෙමළ ජනතාවයි ආණ්ඩුවයි දෙපාර්ශ්වය එක්ව විශ්වාසයක් ඇති නොවන්නේ නම් එය රටට පාඩුවක් බව පෙන්වාදුන් ඒ මහතා අපේ රට අභ්‍යන්තරයේ පවතින ප්‍රශ්න විසඳීම සඳහා විදේශයන්ට ඉඩදිය නොහැකි බවද ජනතාවයි ආණ්ඩුවයි අතර සම්බන්ධය ඈත් කිරීම වසර ගණනාවක් පුරා සිදු කෙරුණු බවද සිහිපත් කළේය.
අපි එක්ව ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුවන අතර ඡන්දය දුන්න ද නොදුන්න ද දෙමළ ජනතාව අප සමඟ ළං නොවුණ ද ප්‍රශ්නවලට පිළිතුරු සොයන බව කී අගමැතිවරයා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් විදේශීයව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරනවා ද යන්න සම්බන්ධයෙන් මෙහිදී දෙමළ මාධ්‍ය ප්‍රධානීන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා සඳහන් කෙළේ ඉදිරි මැතිවරණයෙන් පසුව ප්‍රමුඛත්වයෙහී ලා සලකා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා බවයි. ඒ පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇතැයි කී මහින්ද රාජපක්ෂ මහතා දෙමළ දේශපාලනඥයින් පසුගිය වසර හැත්තෑවක් පුරා ජනතාව රැවටූ බවද පසුගිය එජාප ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා දෙමළ ජාතික සන්ධානය දැවැන්ත සහයෝගයක් ලබාදුන් නමුත් පසුගිය ආණ්ඩුව වසර හතර හමාරක කාලය පුරා උතුරේ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට ඵලදායී පිළිතුරක් ලබාදීමට හෝ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සංවර්ධන ක්‍රීයාවලියක් ආරම්භක කිරීමට හෝ එම ආණ්ඩුව අසමත් වූ බවද පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ දේශපාලන ප්‍රශ්නය පවතින්නේ දෙමළ දේශපාලනඥයින් අතර පමණක් බවත් උතුරේ ජනතාව ජීවත්වීම පිළිබඳ බරපතළ පීඩිත තත්ත්වයක සිටිය දී ආර්. සම්බන්ධන් මහතා කොළඹ කාර් තබාගෙන සැපසේ සිටින බවත්ය. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ගේ දරුවන් පිටරටවල් වල ඉගෙන ගන්නා නමුත් උතුරු නැඟෙනහිර සාමාන්‍ය පවුල්වල දරුවන්ට බීමට වතුර ටික නැති තත්ත්වයක් පසුගිය කාලයේ දක්නට ලැබුණු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය කාලය පුරා යාපයේ ලයිට් කණු සවි කීරීමටත් රෝහල්වල වැඩ කිරීමටත් යොදාගනු ලැබූවේ කළුතර රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ පිරිසක් වන අතර දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ට උතුරු නැඟෙනහිර ජනතාවට රැකියා ලබාදීමට හෝ පසුගිය ආණ්ඩුවෙන් අවස්ථාවක් නොලැබුණ බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඉදිරිපත් වූ ගැටලුවකට පිළිතුරු දෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කෙළේ ඒ පිළිබඳව ආණ්ඩුව වශයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන. ඩග්ලස් දේවානන්දා, ආරුමුගම් තොණ්ඩමන් සහ සී. බී. රත්නායක මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.