ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුගේ ප‍්‍රධානත්වයෙන් අද ඇරඹිණ.
එහිදී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ සියලූ ජාතීන්ට සමානාත්මතාව හිමිවන අයුරින් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඉදිරියේදී සකසන බවයි.
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සාමය සහ සහජීවනය ස්ථාපිත කරමින් නව ගමනක් යාමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 30 වැන මානව හිමිකම් සම්මේලනයේ සමාරම්භක සැසිවාරය අමතමින් පැවසිය.
තවද මානව හිමිකම් කඩවී ඇති බවට එල්ල වන චෝදනා සඳහා හොඳම විසඳුම දේශපාලන විසඳුමක් බවද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළහ.
තවදුරත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඉකුත් රජයේ ප්‍රකාශ හා පොරොන්දු ගැන නොව නව රජය ගැන විශ්වාස කරන්නැයි ද ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට සම්බන්ධ සියලු දෙනාගෙන් එහිදී ඉල්ලීමක් කළේය.
අද ඇත්තේ අලුත් රජයක් බවත්, මානව හිමිකම් සම්බන්ධයෙන් නව රජය ගෙන යන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහය අවශ්‍ය බවත්, ඒ අනූව සියලුදෙනාට සාධාරණය හා යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය ඇප කැපවී සිටින බව ද විදේශ ඇමතිවරයා කියා සිටියේය.
තවද සංහිඳියාව ලේසියෙන් ඇති කළ හැකි දෙයක් නොවන බවත්, ඒ සඳහා කල් ගත වන බවත්, පැවසූ අමාත්‍යවරයා බොහෝ දෙනා නොඉවසිල්ලෙන් සිටින්නේ විසඳුම් අපේක්ෂාවෙන් බවත්, එය තේරුම් ගත හැකි බවත්, ප්‍රකාශ කළේය.
උතුරේ ගැටලුවලට විසඳුම් වශයෙන් දැනටම රජය දේශපාලන විසඳුමක් සඳහා වැදගත් පියවර කිහිපයක් ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසු අතර, නව රජය ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රශ්නය විසඳීමට ක්‍රියා කරන්නේ ජාතික ස්වාධීනත්වය අනුව බව සහ ඒ සඳහා අධිකරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.
එසේම අධිකරණ ක්‍රියාවලියේ දී සියලු ජන කොටස් අතර විශ්වාසය තහවුරු කර නීතිමය කටයුතු ගැන ඔවුන්ගේ විශ්වාසය ඇති කිරීම වගවීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍යම කරුණක් බවත්,
ක්‍රියාවලියේ දී අධිකරණ හා පරිපාලන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පිළිගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.
සත්‍යය සොයා ගැනීමට විශ්‍වාසවන්ත තොරතුරු පිළිගත හැකි තොරතුරු හා ස්වාධීන යාන්ත්‍රණයක් ඇති කිරීමේ වැදගත්කම ගැන රජය ක්‍රියා කරන බවද නීතියෙන්ම සත්‍ය සොයා ගැනීම සඳහා යාන්ත්‍රණ දෙකක් පිහිටවිය යුතු යැයි ද හෙතෙම තවදුරත්, පැවසුවේය.
“ඉන් එකක් වන්නේ දකුණු අප්‍රිකාවේ මෙන් සත්‍ය සෙවීමේ කොමිසමකි. සත්‍ය යුක්තිය සංහිඳියාව සහ වැරදි යළි ඇති නොවීමේ ක්‍රියාවලියක් සහ අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔවුන්ගේ පවුල්වල අයට ඇති අයිතිය ගරු කරමින් අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමක් පිහිටුවීමයි.
ඒ අනුව අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීමේ දී විශේෂ උපදේශන මණ්ඩලයක් නීතියෙන්ම පත් කළ යුතු අතර වන්දි ගෙවීම සඳහා හානි පූර්ණ කාර්යාලයක් නීතියෙන්ම පිහිටුවිය යුතුයි.
තවද බලයෙන් අතුරුදන් කළ අය පිළිබඳවත් , ක්‍රෝධය හා පිළිකුල ඇති කරන වෛරී ප්‍රකාශ අපරාධ ක්‍රියා ලෙස සැලකීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට පියවර ගෙන අති අතර, දෙමළ ජනයා අතර පවතින දුක්ගැනවිලි විසඳා යළි එවැනි දේ සිදු නොවීම සඳහා කළ හැකි එකම දේ දේශපාලන විසඳුමක්” බවද සමරවීර මහතා මෙහිදී පැවසීය.