අපේක්ෂකයෙකුගේ ඡායාරූප ප්‍රදර්ශනය කළ  වාහනයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

අපේක්ෂකයෙකුගේ ඡායාරූප ප්‍රදර්ශනය කළ වාහනයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඡායාරූප ප්‍රදර්ශනය කළ වාහනයක් සමග පුද්ගලයෙකු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ නාමයෝජනා භාරදීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

තවද, නාමයෝජනා භාරදීම සඳහා කිසියම් අපේක්ෂකයෙකු පැමිණෙන වාහනයක හැර සෙසු වාහනවල මැතිවරණ ප්‍රචාරක දැන්වීම් හා ඡායාරූප පළ කිරීම නීතියෙන් තහනම් කර ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ඊයේ දිනය තුළ සමස්තයක් ලෙස සාමකාමීව නාමයෝජනා භාරදීමේ කටයුතු සිදු වූ බව මැතිවරණ නිරික්ෂණ සංවිධාන පැවසීය.

කෙසේ වෙතත් මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Share this: