අත්අඩංගුවට පත් කෝප්‍රල්වරයා ගැන මහින්ද රාජපක්ෂ කරුණු දක්වයි

අත්අඩංගුවට පත් කෝප්‍රල්වරයා ගැන මහින්ද රාජපක්ෂ කරුණු දක්වයි

වත්මන් ජනාධිපතිවරයාගේ රැස්වීමකට ගිනි අවියක් ගෙනඒමේ චෝදනාව මත යුධ හමුදා කෝප්‍රල්වරයකු අත්අඩංගුවට 

ගැනීමට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.
එම නිවේදනය මෙසේය.

ඉකුත් අප්‍රේල් 25 වනදා ජනාධිපතිවරයා ද සහභාගී වූ ශ්‍රී.ල.නි.ප. හම්බන්තොට දිස්ත්‍රීක් බල මණ්ඩල රැස්වීමට
ගිනිඅවියක් රැගෙන එමේ චෝදනාව මත යුධ හමුදාවේ කොප්රල් සේනක කුමාර රහස් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

කෝප්‍රල් කුමාර මගේ ආරක්ෂක කණ්ඩායමේ සමාජිකයෙකි. මාගේ ඉල්ලීම පරිදි ඔහු මාගේපුත් නාමල් සමග
ශ්‍රී.ල.නි.ප. දිස්ත්‍රීක් කමිටු රැස්වීමට ගියේය. ඔහු සමග සිටි ප්‍රාදේශීය සභා හා පළාත් සභා සමාජිකයන්ට ප්‍රභූවරුන්ගේ දොරටුවෙන් ඇතුළු වීමට ඉඩ නොදුන් නිසා ඔවුන් සියලු දෙනාම පොදු දොරටුවෙන් ශාලාවට ඇතුළු වී තිබේ. කොප්‍රල් කුමාර දොරටුව අසල රැඳී සිටි ඇත.
මද වේලාවකට පසු පොලිස් විශේෂකාර්ය බලකායේ නිළධාරියෙක් ඔහු කවුදැයි ඇසූ විට තමා නාමල් මන්ත්‍රීවරයා
සමග පැමිණි බවත්, තමා යුධ හමුදාවේ සමාජිකයෙක් බවත් කොප්‍රල් කුමාර ඔහුට පවසා තිබුණි. එම ස්ථානයේ රැඳී
නොසිටින්නයි ඔහුට කී විට කොප්‍රල් කුමාර තමාගේ වාහනයට ආපසුගොස් තිබේ. රැස්වීමෙන් පසු මාගේ පුතාත්, කොප්‍රල් කුමාරත් සෙසු අයත් ගෙදර පැමිණියේය.
මාගේ ආරක්ෂකයෙක් ශ්‍රී.ල.නි.ප. රැස්විමට ගිනි අවියක් සමග පැමිණ හසුවි ඇති බවට අප පසුව දැනගත්තේ මාධයේ පළවු වාර්තා වලිනි. ජනාධිපතිවරයා පැමිණි රැස්විමටකට නිල බලයක් නැති අයකු ගිනි අවියක් රැගෙනවිත් තිබුණේනම් ඔහුව එම මොහොතේම අත් අඩංගුවට ගත යුතුව තිබුණි. රහස් පොලීසිය කොප්‍රල් කුමාරගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේ ඊට දින දෙකකට පසු අප්‍රේල් 27 වන දාය. ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ මේ සිදුවූවා යැයි කියන සිද්ධියට සතියකට පසු මැයි 02 වනදාය.
තමා මාගේ පුත් නාමල් සමග ශාලාව අසළට යාමට පෙර තමා සතුව පැවති ගිනි අවිය ඔවුනගේ වාහනයේ යුද හමුදා රියදුරුට භාර කළ බව කෝප්‍රල් කුමාර රහස් පොලිසියට දන්වා ඇත. යුධ හමුදා රියදුරු මහතා ද ඒ ප්‍රකාශය සනාථ කොට තිබේ. කිසිදු වරදක් නොකළ යුද හමුදා සෙබලෙක් මේ ආකාරයට බන්ධනාගාර ගතකොට තිබෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ගැන කතාවක් ගොතා එයට මාගේ පුත්‍රයාද පටලවා ගැනීමට බව පැහැදිලිය. යුධ හමුදා සෙබලෙක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් සමග ගියේ කෙසේ දැයි ඇතැම් අය අසති. නමුත් හිටපු ජනාධිපතිවරයකුට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටද ආරක්ෂාව සැපයිම සාමාන්‍යයෙන් සිදුවේ. එවක යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනාට ආරක්ෂාව සැපයීමට යුධ හමුදා කොමාන්ඩො භටයින් පිටරට පවා යවා තිබු බව මෙහිදී මතක් කර දිය යුතුය.
කෝප්‍රල් කුමාර අත්අඩංගුවට ගැනීමටත්, මා සමග සිටින සැමටත්, අප පවුලේ සාමාජිකයන්ටත් එරෙහිව දිගින් දිගටම ගෙන යන අවලාද හා අඩන්තේට්ටම් ව්‍යාපාරයේම තවත් අංගයක් බව පැහැදිලිය. මේ අඩන්තේට්ටම් කිරිම දැන් මාගේ ආරක්ෂාව සපයන හමුදා අංශ සමාජිකයන්ටත් එල්ල වෙමින් පවති. මීට කලින් අවස්ථාවකදී මාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන්ගේ භාවිතය සඳහා තිබුණු සියළුම වාහන ඉවත් කරන ලදී. එම නිසා මෙම පොලිස් නිලධාරින්ට තම රාජකාරී කටයුතු කිරිමට සිදු වී තිබෙන්නේ විශාල දුෂ්කරතා මධ්‍යය. මටත්, මාගේ පවුලේ සමාජිකයන්ටත් එරෙහිව ඇති දේශපාලන හා පුද්ගලික කෝන්තරවලට යුද හමුදා හෝ පොලිස් නිලධාරීන් පටලවා නොගන්නා මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමට මම කැමැත්තෙමි.
මීට කලින් අවස්ථාවකදී මමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අතර හමුවකට දින යොදාගෙන තිබිය දී මාගේ සොයුරු බැසිල් රාජපක්ෂතව සිර භාරයටෙගන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී. දැන් නැවතත් ඒම හමුව සඳහා දිනයක් නියම වී තිබෙන අවස්ථාවක මාගේ ආරක්ෂක බල ඇණියේ සාමාජිකයකු සිර භාරයට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට ඇත. අද හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද හිර භාරයට ගන්නා ලදී. මේ සිදුවීම් සියල්ල දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන ඒවා බව පැහැදිලිය.

 

මහින්ද රාජපක්ෂය
හිටපු ජනාධිපති

Share this: