ආචාරශීලි රෝහල් කාර්ය මණ්ඩලයක් උදෙසා

ආචාරශීලි රෝහල් කාර්ය මණ්ඩලයක් උදෙසා

රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට රටතුල නිරෝගිමත් ජනතාවක් සිටිය යුතුය. නිරෝගිමත් ශ්‍රම බලකායක් සිටිය යුතුය. එම කාර්යභාරය, රට තුල ස්ථාපිත කර ඇති රෝහල් සහ සෞඛ්‍යය වෛද්‍ය ආයතන මගින් සිදුකරනු ලැබේ.

රටේ මහජනතාව නිරෝගිමත් කිරීමට ඇප කැප වී සිටින, රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජික පිරිස අති විශාලය .මෙම කාර්ය මණ්ඩලය, මනා පාලනයකින් යුතුව කළමණාකරණ කිරීමේ ඉතාම බැරෑරුම් කාර්යභාරය ආයතන ප්‍රධානියා යටතේ සිදුවේ.

නමුත්, වර්තමාන මෙම තත්වය වෙනස් වී ඇත. එය පිලිබදව කතාකිරීමට සිදුවීමද අභාග්‍යකි. මෙම තත්වය වැඩිපුරම දකින්නට,අසන්න ලැබෙන්නේ, රටේ ප්‍රධාන රෝහල් වලින් නොව, රට පුරා විසිරී පවතින අනෙකුත් බහුතරයක් පර්යන්ත රෝහල් වලිනි.

එනම්, ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික ප්‍රතිකාර ඒකක වලිනි. එම රෝහල් වල සේවය කරන්නාවූ බහුතරයක් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සහ ඊට ඉහල රෝහල් කාර්යමණ්ඩලය එනම් වෛද්‍ය, හෙද, පවුල් සෞඛ්‍යය සේවිකා, සහ ඖෂධවේදීන් අතර ඇති ගැටුම් තත්ත්වය දිනෙන් දින ඉහලයන බව මාගේ කෙටි කාලින සේවා අත්දැකීම්වලින් දකින්නට ලැබුණි.

එහි සත්‍ය, අසත්‍යතාවය පිළිබද විස්තර යමෙකුට සොයා දැනගත හැකිය. ආයතන ප්‍රධානියා වන වෛද්‍ය නිලධාරියා, සමහර කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් පාලනය කරගත නොහැකි වන තරමට අසරණ වී ඇත. ඒ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නොමනා ක්‍රියා නිසාය. එනම් කලට වේලාවට සේවයට නොපැමිණීම, නොදන්වා සේවයට වාර්තා නොකිරීම, තමනට රිසි ලෙස, රිසි වේලාවක සේවා මුරයෙන් නිදහස් වීම, තමන්ගෙන් රෝහලේ දී සිදුවිය යුතු රාජකාරී කොටස නිසි පරිදි නොකිරීම වැනි ක්‍රියාවේ.

මෙවැනි සෞඛ්‍යය ආයතනයකට නොගැලපෙන බොහොමයක් ක්‍රියාවන් වලට දැන් හැඩගැසී සිටීම අවාසනාවට කරුණකි. වත්මන් බොහෝ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් දේශපාලන පත්වීම් ලබා රෝහල් සේවයට යොමුවී තිබේ. එහි ගැටළුවක් නොමැත.

ඔවුන්ගෙන් ඇති බහුතරය රෝහල අවට ගම්වාසීන් ද වේ. තවද ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහල මට්ටමක වන අතර, අ.පො.ස.(සා.පෙ ) සමත් වූවකු ද බොහොම කලාතුරකින් නැත්තේද නොවේ.නමුත්, ඔවුනට තමන්ගේ රාජකාරිය හෝ ආයතනය තුල කෙසේ ක්‍රියා කලයුතද යන්න ගැන නිසි අවබෝධයක් නැත .තමන් කවුරුන්ද, තමන්ගේ තනතුර කුමක්ද, තමන්ගේ රාජකාරිය කුමක්ද යන්න පිළිබදව නිසි අවබෝධයක් නැත.

තමන්ට වඩා ඉහල රෝහල් කාර්යමණ්ඩලයට ගරු කිරීමට, කථා කිරීමට, ඔවුන්ගේ උපදෙස් පිළිගැනීමට, උපදෙස් පිළිපැදීමට ඔවුන්ගෙන් බහුතරක් අපොහොසත් වී සිටීම අභාග්‍යට කරුණකි. මෙම ගැටලු විසදීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඉහල පාලනාධිකාරිය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී තිබේ.

ඒ ඉහල පරිපාලකයන් මෙම අමිහිරි කටුක අත්දැකීම් පිලිබදව අවබෝධයක් නොමැති නිසා වෙන්න ඇත.නොදැනෙන නිසා වෙන්න ඇත. නැතහොත්, කුමන හෝ ආකාරයකින් “වැඩේ ” එනම් රෝගී සත්කාර අඛණ්ඩව කර ගෙන නිසා වෙන්න ඇත. තවද මෙම ගැටලු ඉහල පාලනාධිකාරියට දැන්වීමට ආයතන ප්‍රධානින් අපොහසත් වී හෝ සහ අදිමදි කරන්නට හෝ ඇත්තේ ද මෙම ගම්වැසී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ නොයෙකුත් තර්ජන ගර්ජන, බියවැද්දීම් සහ තම ජිවිත ආශාව ආයතන ප්‍රධානියාටද ඇති නිසා වන්නට පුළුවන.

මෙම නිසා රටේ උගතුන්, බුද්ධි මතුන් ලෙස රජයේ ඉහල මට්ටමේ රැකියාවක් කරන වෛද්‍ය වරුන්ට,හෙදියන්ට, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනට, කණිෂ්ඨ සේවයක් ඉදිරියේ දණ නැමීමට සිදුවී තිබීම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මෑත කාලයේ දක්නට ලැබෙන බරපතලම ඛේදජනකයෙකි. නැතහොත්, මෙලෙස ක්‍රියා කරන කණිෂ්ඨ සේවකයන්ගේ ක්‍රියා ඉදිරියේ අන්ධයන්, බිහිරන් ලෙස ඉතාම නිවට ලෙස යටහත් පහත්ව සිටීමට ඉහල වෛද්‍ය, හෙද ආදී කාර්ය මඩුල්ලට සිදුවී තිබේ.

මෙය තම උගත් කමට, රැකියාවට, බුද්ධි මට්ටමට කරන නිගා කර ගැනීමකි. මෙය දැනට, බහුතරයක් පර්යන්ත රෝහල් වල පවතින සැබෑ තත්වයයි. මහජනතාවට, යහපත් සේවාවක් ලබා දීමට රෝහල් කාර්යමණ්ඩලයේ සියලුම දෙනාගේ ඇප කැප වීම නොමද ව ලැබිය යුතුය. මෙම තත්වය දිනෙන් දින නරක දිශානතියකට ගමන් කරනු දැකිය හැකිය.

තත්වය මෙසේ වුවහොත්,රෝහල් කාර්යමණ්ඩලයේ ඉහල නිලධාරීන්ගේ දැඩි අසතුට සහ දැඩි අසහනය ඉහල යාම නොවැලක්විය නොහැකිය.කරුණු කෙසේ වුවද, පුදුමයට කරුණනම්,තමන්ගේ සේවය කෙසේ වෙතත්, මස අගට ලැබෙන සියල්ලන්ගේම මාසික වේතනය සමාන ලෙස බැංකු ගත තිබීමයි. වැඩ කලත් නැතත් සමාන වැටුප් වරප්‍රසාද සමසේ ලබා ගැනීමට කටයුතු කරයි.

මෙම තත්වය, රෝහලේ රාජකාරිය නිසි පරිදි අකුරටම කරන අනෙකුත් කනිෂ්ඨ සේවකයන්ට කරන අසාධාරනයක් සහ නිගාවකි. එමගින්, අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ සේවා තෘප්තිය පහල යෑම මගින්, රෝහල තුල කාර්යක්ෂම සේවාවක යෙදීමට අපහසු වේ. එම නිසා, විශේෂයෙන් ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රාථමික ප්‍රතිකාර ඒකක වලට අනුයුක්තව සේවය කරන, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට විදිමත් පුහුණුවක් ලබා දීම සහ ආචාරධර්ම පද්ධතියක් හදුන්වා දෙන්නේ නම් ඉතාමත් කාලෝචිත යැයි මගේ අදහසි. මේ සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, හෙද සංගම්, පවුල් සෞඛ්‍ය සේවා සංගම් වල ගෞරවණිය අවධායන ද යොමුවන්නේ නම් ඉතාමත් කොට සලකමි.

ස්තුතියි

වෛද්‍ය ඩබ්.ඒච්.අයි.ගුණවර්ධන
පොලොන්නරුව.

Share this: