පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතව තිබේ.
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු එකට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර පිරිනැමීමෙන් පසු පළමු වරට පාර්ලිමේන්තුව රැස්වනු ලබන්නේ අද දිනයේ යි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 48 දෙනෙකු පමණ අද දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස අසුන් ගැනීමට නියමිතව ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ආසන පිරිනැමීමේ කටයුතු ද මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ ආසන පිරිනැමීමේ දී පළමු පෙළ ආසන වලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 12ක්, දෙමළ ජාතික සන්ධානයට ආසන 6ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් පිරිනැමීමට යෝජනා වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ට මෙන්ම විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ට සන්ධානය නියෝජනය කරමින් විපක්ෂයේ පළමු පෙළ ආසන පිරිනමා ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව ආරම්භයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වු වාර්තාව පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායක සභාව සඳහා යෝජනා වී ඇති සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනාගේ නම් අනුමත කරගැනීමට ද නියමිතව ඇත.
ආචාර්ය ඒ.ටී.ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජනාධිපති නීතීඥ සිබ්ලි අසීස් යන මහත්ම මහත්මීන් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් ලෙස අනුමැතිය ලබාගැනීමට නියමිතයි.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ දී නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු දිවුරුම්දීමට ද නියමිතව තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක යන තිදෙනාය.
උපුටාගැනීම අද දෙරණ